රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ටතම රාජ්‍යය බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍ය පාලනය ගෙන ගිය බව හෙළ ඉතිහාසයේ සඳහන්ය.

රාමගේ විෂ හීය ගැන තාපසවරිය කී අනාවැකිය

රාවණ කතා පෙළ ලාංකීය ජන සමාජයේ වෙනසක් කළ බැව් සැබෑවකි. අලූත් යමක් හිතන්නට රාවණ කතාවෙන් පාඨකයන් මෙහෙයවිණි. මීට කලකට පෙර මහා වංශයෙන් එහාට මේ රටේ අතීතයක් ගැන හිතන්නට වැඩි දෙනා අකමැති වූහ. එහෙත් එම අදහස් මේ වන විට සුණු විසුණු වී කවුරුත් ලංකා ඉතිහාසයේ රාවණ රජතුමා තෙක් ඇදී යන්නට පටන් ගෙන තිබේ. එබැවින් මේ ලිපි පෙළ ලංකා ඉතිහාසය පිළිබඳ ඓතිහාසික කාර්ය භාරයක් කරන්නකි. පුරාණ කතාවක් ඔස්සේ මෙය ලියැවුණත් රාවණ පිළිබද පුරාණය හොයන ඔබ වෙනුවෙන් ළඟදීම නව වෙනසකට අපි පා තබමු. ඒ මගින් රාවණ යුගයට සම්බන්ධ ලක්දිව නන්දෙස තැන් ඔබට හමුවනු ඇත. අද රාවණ කතා පෙළෙහි තවත් පියවරකට යමු.
රාවණට ඥාති වන රාක්ෂ ගෝත‍්‍රික කාන්තාවක මැණික්දෙන තපෝ වනයක තපස් රැුක්කාය. ඇය චිත‍්‍රා නම් වූවාය. විශ‍්‍රවස් මුණියේ ඥාති සොයුරු සන්තාප රකුසා චිත‍්‍රාවන්ගේ පියා විය. අනාගත වක්තෘවරියක් ලෙස චිත‍්‍රා ප‍්‍රකටව සිටියාය. එනම් අනාගතය කීමෙහි දක්ෂතාව චිත‍්‍රාවන්ට තිබිණි. එබැවින් රාවණ අධිරාජයා ඉඳහට චිත‍්‍රා හමු වී අනාගත කාලය පිළිබඳ නොයෙක් උපදෙස්, අනුශාසනා ලබාගන්නට අමතක නොකළේය.
රාවණගේ බල කේන්ද්‍රස්ථානය වූ සීගිරියේ සිට මැණික්දෙනට රාවණ රජතුමා යන්නේ අසුපිටිනි.
දවසක් එසේ යන විට චිත‍්‍රා කුමරිය අට්ටික්කා ගසක් මුල බවුන් වඩමින් උන්නාය. රාවණ රජතුමා ඇයට පලතුරු වට්ටියක් පිළිගන්වා ඈ සමඟ කතා කළේය. දීර්ඝ භාවනාවක් නිමා කර ඇය සැහැල්ලූ මනසකින් සිටීම රාවණ රජතුමාගේ සන්තෝෂයට හේතු විය.
‘‘ඔබ විවේකයෙන් නේද?’’ රාවණයෝ චිත‍්‍රාවන්ගෙන් ඇසූහ.
‘‘එසේය මහ රජ’’ චිත‍්‍රාවන් පිළිතුරු දුන්නාය. මැණික්දෙන තපෝ වනය පීරා ඇසෙනුයේ සියොතුන්ගේ කිචි බීචි හඬත්, කැලේ සරන සතුන්ගේ ගෝර හඬකුත් පමණි.
මහරජ ඔබ මෙහි පැමිණියේ කිසියම්  ගැටලූවක් විසඳා ගන්නට විය හැකියි. මට නම් දැනෙන්නේ එසේය චිත‍්‍රාවන් රාවණට ඉඩ දුන්නාය.
‘‘එසේය චිත‍්‍රාවනි, මට ඇතුළතත් කරදර සිත්තැවුල් බොහෝය. පිටත් කරදර සිත් තැවුල් බොහෝය. මේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගන්නට මට වුවමනා වී තිබේ.
රාවණ රජතුමා එසේ කියන විටම රතුවන් කෑරලෙක් අමිහිරි හඬක් නගමින් දෙදෙනා අසලින් පියාසර කළේය. මේ දසුන මහ වනයට නුපුරුදු දර්ශනයක් නොවේ. නමුත් කෑරලා එතැනින් යාම ගැන රාවණ රජුට දැඩි කෝපයක් හටගත්තේය.
‘‘මහ රජ ඔය ගිය පක්ෂියා කවුදැයි හඳුනනවාද?’’ චිත‍්‍රාවන් රාවණගෙන් විමසුවාය.
‘‘චිත‍්‍රාවනි ඒ රතු කෑරලෙක් නොවැ’’
‘‘නැත මහ රජ ඒ ගිියේ චෞදරී. ඔහු රාමගේ පිළේ ඔත්තුකරුවෙක්. ඔබතුමාගේ ගමන් පිළිබඳ තොරතුරු ගැනීමට චෞදරී ඔහුගේ ඔත්තු සපයන්නකු ලෙස පත්කර තියෙනවා’’ චිත‍්‍රාවන් කියාගෙන ගියාය.
රාවණ යුගයේ රාවණ රජතුමාටත්, රාම කුමරුටත් පක්ෂව බොහෝ ඔත්තු සපයන්නෝ සිටියහ. මේ අය මන්ත‍්‍ර ශාස්ත‍්‍ර බලයෙන් පක්ෂීන්ගේ සතුන්ගේ සාමාන්‍ය මිනිසුන්ගේ වෙස්ගෙන මොවුන් කියන කරන දෑ නිරීක්ෂණය කළහ. රාම කුමරුට චෞදරී මෙන් රාවණට මරිච් රාක්ෂයා මේ ආකාරයට සත්ව වෙස් ගෙන රාමගේ තොරතුරු සැපයූවෙකි.
රතු කෑරලා පියාසර කළා පමණි. ඌ පසු පස දැවැන්ත උකුස්සකු වේගයෙන් පියාසර කළේය. බැලූ බැල්මට රතු කෑරලාට ප‍්‍රහාරයක් එල්ල කිරීමට උකුස්සා යන හැඩකි.
රාවණ රජතුමා උකුසු වෙස් ගත් චරිතය හඳුනා ගත්තේය.
මෑණියනි, ඔබගේ ප‍්‍රකාශය නිවැරදිය. අර රතු කෑරලා පසුපස යන උකුස්සා මගේ රාජ සභාවේ චාර රාක්ෂයාය. ඔහු මට සිටින දක්ෂ චර පුරුෂයෙකිි. චාර රාක්ෂයා පුහුණුව ලබා සිටින්නේ මේඝනාද කුමරුගෙන්. ඔහු මට සිටින අතිදක්ෂ ඔත්තුකරුවාය. ඔහුට මේ ලෝකයේ පමණක් නොව අඟහරු ලෝකයේ පවා ඔත්තු කීමෙහි හැකියාව ඇති බව රාවණ පැවසුවේය
රජතුමනි, ඔබ මේ ලොව දීර්ඝ කලක් ජීවත් වන්නට මහ බඹුගෙන් අවසර ගත් එකම පුරුෂයාය. ඔබට කැරළි ගසන්නට රාම කුමරු සමඟ දැවැන්ත හමුදාවක් සූදානම් වී ඇත. මහ රජ මදුරුවකු, මැස්සකු වැනි පුංචි සතකුට වුව විශාල සත්වයකු නැසීමෙහි ශක්තිය තිබෙයි. එහෙත් කවර සටනකටත් පෙර ඔබට දිගු විවේකයක් අවශ්‍යව ඇත. දැන් එයට කාලය ළංව ඇත. චිත‍්‍රාවන් පැවසුවාය.
ඇය එසේ කීවේ රාවණ රජු අනාගතයේ සිිටින දිගු නිද්‍රාව පිළිබඳවය. එය රාමගේ විෂ හීය නිසා සිදු වූ බව පෙර ඔබට සඳහන් කර ඇත. මේ කාරණය මූලිකම රාවණගේ කන තැබුවේ චිත‍්‍රා නම් තාපසවරියයි.
එබැවින් රාම - රාවණ සටන ආරම්භයේදීම රාවණ රජතුමා තමන්ට මෙවැනි ඉරණමක් ළඟා වන බව දැන හුන්නේය. රාවණට විෂ හීය වැඳීම අහම්බකින් සිදු වුවත් එය රාවණගේ දෛවයට උරුමවූවක් විය. එම විස හීයෙන් මිදීමට රාවණට නොහැකි බව චිත‍්‍රාවන් ප‍්‍රකාශ කළාය.
රාවණට විවේක කාලය බව දැන ගන්නට තවත් ලකුණක් තිබිණි. ඒ රාවණගේ ගෙළ පැළඳි සුරයයි. එම සුරයේ තෙල් අඩු වැඩි වීම මත රජුගේ විවේක කාලය තීරණය වේ. චිත‍්‍රාවන්ගේ ඇස රාවණගේ ගෙළෙහි වූ සුරය වෙත ඇදුනාය.
එහි තියෙන තෛලය අවසානයටම අඩු වී තිබිණි.
රජතුමනි. සෑම අතින්ම පෙනෙන්නේ ඔබට විවේකය ළං වී ඇති බවකි. ඔබ වසර දහස් ගාණක විවේකයට සූදානම් වන්න. ඔබව අවදි කරවන්නට තාපසයකු වඩිනු ඇත. මේ අප හමුවන අවසන් අවස්ථාවයි.
චිත‍්‍රාවන් කඳුලින් බරව ප‍්‍රකාශ කළාය. රාවණ රජතුමා චිත‍්‍රාවන්ට සමුදී සීගිරි මාලිගාව කරා එළැඹියේය.

එදා මේ චිත‍්‍රා තාපසවරිය අවුරුදු දහස් ගාණක් අතීතයත්, අවුරුදු දහස් ගාණක අනාගතයත් දැක තොරතුරු කිව හැකි විශිෂ්ට ඥාන ප‍්‍රගුණ කළ තැනැත්තියක් වූවාය. රාවණ යුගයේ මෙවැනි විශිෂ්ට තාපස මුණිවරු සහ  තාපස මුණිවරියන් සුවිසල් කැලෑබදව වාසය කළහ. උග‍්‍ර තපස් රකිමින් ලෝකයේ අවුරුදු දහස් ගණන් අතීතය අනාගතය දකිමින් බොහෝ කාරණා ඔවුහු ප‍්‍රකාශ කොට ඇත්තාහ.

ඒවා අපේ මුඛ පරම්පරාගතව ඇතැම් විට පැමිණේ. ජනප‍්‍රවාද ගතවත්, සමහර තැනෙක පුස්කොල පොත්වලද ලියා තිබේ.
එබැවින් අපේ රට ගැන, ලෝකය ගැන දේශිය තාපසවරුන් කී අනාවැකි අසත්‍යය යැයි දැකිය නොහැක. ඒ බොහෝ ඒවායේ සත්‍යය සැඟව තිබේ.
මහා ආධ්‍යත්මික බලයෙන් හෙබි තාපස කියමන් සොයන්නට වෙහෙසෙන විශාල පිරිසක් ජන සමාජයේ ජීවත් වේ. රාවණ යුගයේ අපූරු අනාවැකි සහ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ගොඩ ගත හොත් එය ලාංකීය ජන සමාජයෙහි තවත් විප්ලවයක් අපූරු පර්යේෂණයක් වනු ඇත.
වෙස්වළා ගැනීම, අතුරුදහන් වීම, විවිධ දේ මැවීම, ග‍්‍රහ ලෝකවලට පවා ගොස් තොරතුරු සොයා පැමිණීම රාවණ යුගයේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රවලට සුළු දෙයකි. මෙවැනි දේ සෙවීමට උත්සාහ කළොත් ඒවා යම් ලෙසකට ඉස්මතු කළ හැකිය. එබැවින් අපි ළඟදීම මේ සාහිත්‍ය කතාවෙන් ඔබ්බට යමු...... රාවණ රජුට නෑකමැති තැන්..... සූදානමින්....
2014 දෙසැම්බර් මස 09 | ලංකාදීප කර්තෘ මණ්ඩලය