රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ටතම රාජ්‍යය බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍ය පාලනය ගෙන ගිය බව හෙළ ඉතිහාසයේ සඳහන්ය.

රාවණා රජු සෙන්පතියෝ 21ක් කැඳවයි..

කාශ්‍යප හා ගෞතම යන බුදුන් වහන්සේලා දෙනමම ලොව පහළවූයේ රාවණා රජතුමා සිහි මුර්ජාවේ සිටියදීය. එමනිසා රාවණා රජුට උන්වහන්සේලා දැක ගන්නට නොහැකි විය. කෙසේ වෙතත් රාවණා රජු බුද්ධ දර්ශනය පිළිගත්තෙකි. එහෙත් ඔහු සූර්ය වන්දනය කළ අයෙකි. පුරාණ පුස්කොළ පොත්වල රාවණා රජු සූර්යයාට නමස්කාර කළ මන්ත‍්‍ර විශාල ප‍්‍රමාණයක් සඳහන් වෙයි. ඒ අනුව යමින් සූර්ය වන්දනාව රාවණා රජ සමයේ පටන් මුල්බැස පැවති අංගයකි. විජයගෙන් පසු ලංකාවේ රජ සමයන්හි පවා සූර්ය වන්දනාව තිබී ඇත. එබැවින් ඒ පිළිබඳ මතු ලිපියකින් සාකච්ඡාවක් අරඹමු.
රාවණා රජතුමා පිදුරුතලාගල, මහකුඩුගල කන්දේදී දීර්ඝ සිහිමුර්ජාවෙන් අවදි වූ පසු මුලින්ම කළේ පුරුදු සිරිත් කීපයකි. එතුමා නැගෙනහිර දෙසින් හිරු දෙස බලා වැඳගෙන සූර්ය නමස්කාරය කළේය. තුන් විටක් පහත මන්ත‍්‍රය කියමින් සිය ගෞරවය සූර්යයාට පිදීය. ඒ රහස් මන්ත‍්‍රය අපි අද ඔබට ලබාදෙමු.
සූර්යයා යනු අපි ජීවත්කරන මහා ශක්තියයි. පරිසරය, ගහකොළ, සතා සීපාවා ජීවත් කරන බලගතු ශක්තියයි. සූර්ය දෙවි නැමදීම මගින් නොපෙනෙන, බලගතු ශක්තියක් අපට ළඟාවේ. දරුවන්, මාපියන් නමදින්නේ ඇයි… එවැනිම වූ ආශීර්වාදයක් උපන්දා සිටම සූර්යයාගෙන් අපට ලැබේ. හුදෙක් අප ජීවත්කරවීම ඇත්තේ සූර්යයා සතුවය. රාවණා රජතුමා සූර්ය නමස්කාරය කරන්නට ඇත්තේ ඒ වූ මහා ශක්ති කඳම්බය හා සූර්ය දෙවි බලවත්භාවය නිසාය.

”ඕම් ප‍්‍රකාශ ශක්ති සහිත ශ්‍රී
මහර්තණ්ඩ ධෛර්ම ශ්‍රී පාදුකම් පූජයාමි නමඃ
තර්පයාමී නමඃ
ඕම් මිත‍්‍රාය නමඃ
ඕම් රවයේ නමඃ
ඕම් සූර්යාය නමඃ
ඕම් භානවේ නමඃ
ඕම් ගහාය නමඃ
ඕම් භූෂ්නේ නමඃ
ඕම් භිරණ්‍ය ගර්පයාය නමඃ
ඕම් මරීසාය නමඃ
ඕම් ආදිත්‍යාය නමඃ
ඕම් සාවිත්‍රේ නමඃ
ඕම් අර්ඝාය නමඃ
ඕම් භක්ෂකරාය නමඃ
මහත් ධියුක්තිකරාය විමහී
තන්නෝ ආදිත්‍ය ප‍්‍රචෝදයත්”
සූර්ය වන්දනාව කළ රාවණ රජතුමා ඉන්පසු තමන්ගේ සේනාධිපතිවරුන් සොයන්නට විය. රාම-රාවණ සටනදී පවා රාවණ රජු යුද්ධය මෙහෙය වූයේ මේ සේනාධිපතිවරුන් සමගය. ඔවුහු දක්ෂ සටන්කාමීහුය. පෞරෂවත්හුය. රාවණ රජුගේ යක්ෂ සේනාධිපතිවරු 21ක් සිටි අතර මේ සියලූ දෙනා දැන් මළවුන් අතරය. රාවණගේ පුත‍්‍රයා වන ඉන්ද්‍රජිත් එක සේනාධිපතියෙකි. ඔහු අමාවක දිනවල ‘සහශ‍්‍රගත’ යානයේ නැගී සතුරු බිමට එනවිට අඟහරු ග‍්‍රහ ලොවෙහි ජීවින් පවා භීතියෙන් මුසපත්ව ඇත. ඒ තරම් ඉන්ද්‍රජිත් බලවත්ය.
රාම රාවණට පහර ගහන්නට අඟහරු ග‍්‍රහලොවින් උදවු ගත්තත් රාවණ අන්‍ය කිසිම සහායක් යුද්ධයට නොපැතීය. රාවණාගේ සහායට ලොව රටවල් යුද සේනා එවීමට ඉදිරිපත් විය. එහෙත් රාවණට රාමා පරාජය කිරීම සඳහා අතුරු සේනා අවශ්‍ය නොවීය. රාවණට සිදුවූයේ සටනේදී සුළු අත් වැරදීමක් පමණි. එහි ප‍්‍රථිඵල වූයේ රාමා විෂ හීයක් රාවණ වෙත එවීමය. එය රාවණගේ දීර්ඝ සිහිමුර්ජාවට හේ්තුවිය. රජුගේ මරණින් පසු සටන ඉදිරියට සිදු නොවිණ.
සිහිසුන් රාවණව රැගෙන යක්ෂ සෙන්පතියෝ පිදුරුතලාගල මහකුඩුගලට ගෙන ගියහ. එහි රාවණ මාලිගයේ රජු සැතපවූහ.
රාවණගේ හමුදාවේ ප‍්‍රධාන සෙන්පතියා පුත‍්‍ර ඉන්ද්‍රජිත් වේ.
යළි නැගිටි රාවණ රජු මේ සෙන්පතියන් ඒකරාශී කර ගැනීමට මන්ත‍්‍ර මිමිණූහ. විවිධ මන්ත‍්‍ර හරහා පිරිස රැස්වන බලය රාවණට තිබේ. සෙන්පතියන් කැඳවූයේ ඒ මන්ත‍්‍ර වලිනි. මළවුන් අතර සිටි සෙන්පතියන්ගේ භූත ආත්ම 21ක් රාවණ සොයා මහකුඩුගලට පැමිණියහ. මෙසේ ඒකරාශි කළ භූත ආත්ම නැවත හතේ කණ්ඩායම් තුනකට බෙදුවේය.
පෙර ලිපිවල ලියූ විභූති යක්ෂයා මේ සෙන්පතින් අතර නැත. ඔහු රාවණා සිහි මුර්ජාවෙන් සිටි සමයේ මහකුඩුගලදී ආරක්ෂා කළ අයෙකි. නමුත් අතිශය බලසම්පන්න දැනටත් රාවණ සමග සිටින සහායකයෙකි.

‘මරිචි’ යනු රාවණ, සෙන්පතින් අතර තවත් ප‍්‍රබලයෙකි. ඔහු රාවණගේ සහෝදරියකගේ පුතෙකි. නෑ කමට ‘බෑනා’ වෙයි. මරිචි වාසය කළේ බෑන සමනොළය. රාවණගේ බෑනා පදිංචිව සිටි නිසා එය ‘බෑන සමනොළ” වූ බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කියයි. සීතාව රැගෙන ඒමට රාවණ ගිය වෙලේද මරිචි, රාවණ හා ගොස් ඇත.
දැන් රාවණ රජුගේ ආරක්‍ෂක සේනාව වන්නේ මළවුන් අතර සිට පැමිණි සේනාධිපති භූත ආත්ම 21ය.
රාවණ රජු තමන් සිටි තැන්වලට හෝ කිසියම් බාහිර තැනකට යන්නට අවශ්‍ය වූ විට මුලින්ම යන්නේ එක භූත ආත්ම කණ්ඩායමකි. එහි සත් දෙනෙකි. එම පිරිස අදාළ තැනට ගොස් ප‍්‍රදේශය පූර්ණ පිරිසුදු කරති. රාවණ එන තැන කිළිටි වී ඇත්නම් පිරිසුදු කිරීමද, මිනිසුන් රැඳෙන තැනක් නම් මුලින් ඒ අය අදාළ තැනින් ඉවත් කිරීමද, දුෂිත පුද්ගලයන් රැඳී ඇත්නම් දඬුවම් කොට පන්නා දැමීමද යක්ෂ බළඇණියේ කාර්යය වෙයි. සියල්ල සූදානම් කළ පසු ‘රාවණ දෙවි’ පැමිණෙන්නැයි ආරාධනාව එයි. රාවණ රජු එදත් අදත් යන තැනක් හැටියට බෑන සමනොළ දැක්විය හැකිය. වසරකට දෙවතාවක් පමණ රාවණ රජු බෑන සමනොළට යයි. එහි විශාල යක්ෂ දේවාලයක් තිබේ. මෙය විශාල ගල් ගෙයකි. මෙහි වන්දනාමාන කරන්නේ පුරාණ යක්ෂ ගෝත‍්‍රික ගැහැණු දේවතාවියකටය. රාවණ රජුටත් පෙර රාවණ ඥාතීහු ඇය දේවත්වයෙන් පුදති.
මේ දේවතාවියගේ මුහුණ වලස් මුහුණකි. හිිසින් පහළ නිරුවත් කාන්තා ශරීරයකි. රාවණා රජු පවා මේ දේවතාවියට වඳින්නේ පුරාණ යක්ෂ ගෝත‍්‍රික පරම්පරාවේ දේවත්වය ලැබූ ආදි මිත්තණියක නිසා විය යුතුය. වර්තමානයේ ඇතැම් රාජ්‍ය නායකයන් දෙවියන් අදහනවා සේම රාවණා රජ සමයේද ඔවුහු දෙවියන් ඇදහූ බව මින් පෙනේ. රාවණ රජු මොනතරම් බලසම්පන්නයෙක් වුණත් බෑන සමනොළයේ දේවාලයට ගොස් පූජා භාර හාරවීම් කොට තමන්ට ශක්තීන් ඉල්ලීම කර ඇත.
රාවණ බෞද්ධ දර්ශනය පිළිගත්තත් ඔහු චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සාහ කළේ නැත. ඔහු භාවනා කළේ නිවන් දැකීමටද නොවේ. භාවනාව ප‍්‍රධාන අංශ දෙකකි. එකක් ලෝකෝත්තර වශයෙන් ආර්ය සත්‍යය අවබෝධ කොට ගෙන නිවන් දැකීම පිණිසය. අනෙක ලෞකික ශක්ති වර්ධනය කරගෙන විශාල බලයක් ඇති කරවා දෙවියන් බ‍්‍රාහ්මණයන් පවා තමන් යටතට ගෙන ලෝක පාලනයට අවශ්‍ය ශක්තිය දියුණු කර ගැනීමටය. රාවණ රජු ලෞකික බලය දියුණු කළා මිස ලෝකෝත්තර ශක්තිය දියුණු නොකළේය.

රාවණ යනු කාමභෝගී ජීවිතයක් ගත කළ අයෙකි. ඔහු ‘මහා සීලවන්තයෙක්’ කියන තැනට මෙහායින් අප නැවතිය යුතුය. එතුමා ලෞකිකව සැපවත් ජීවිතයක් ගෙවීය. කෙතරම් භාවනා කළත් ඉඳහිට ඉන්ද්‍රියන් බිඳගෙන වැඩ කිරීමක් එතුමාට තිබිණි. රාවණට සුන්දර ස්ත‍්‍රියක දුටු සැනින් ඇය හා එකට සිටින්නට ආශාව ගලයි. තමන් ආශා කරන යම් වස්තුවක් දුටුවොත් එය ලබාගැනීමේ උවමනාව උපදී. එබැවින් එම ආශාව සම්පූර්ණ කර ගන්නට රාවණ සිල්බිඳ ගනී.
රාවණ රජුගේ නීත්‍යානුකූල බිරිඳ මන්දෝදරී රැජින බව අපි කීවෙමු. ඇයට අමතරව රාජකීයයකුට හිමි විශේෂ අන්තඃපුරයක් රාවණට තිබිණි.
මන්දෝදරී රැජින යනු එදා ලොව සිටි ප‍්‍රධානම ගෘහ නිර්මාණ ශිල්පියා වූ මයදානවගේ දියණියය. ලංකාවේ සීගිරිය නිර්මාණය කළේද මේ මයදානව ගෘහ නිර්මාණ ශිල්පියාය. ඒ රාවණගේ පියා වූ විශ‍්‍රවස් සෘෂිවරයාගේ සමයේය.
මයදානව විශ‍්‍රවස් මුණිගේ කිට්ටුවන්තයෙකි. විශ‍්‍රවස් මුණිගේ ඉල්ලීමට මයදානව අගනා බල කේන්ද්‍රයක් ගොඩ නැගීය. සීගිරිය ලොව අසහාය නිර්මාණයකි. එදත් අදත් එයට සම නිර්මාණ ලොව බිහි වී නම් දුර්ලභය. මයදානව ළඟ අගනා ‘ත‍්‍රිශූලයක්’ තිබිණි. එය ලෝක පාලනයට පවා ශක්තිය ඇත්තෙකි. රාවණගේ පෞරුෂය, බලය දුටු මයදානව තමන්ගේ දියණිය ඔහුට විවාහ කර දෙන්නට කැමති බව විශ‍්‍රවස් මුණිට පැවසීය. ඒ වන විට මයදානව ලොව ප‍්‍රධාන පෙළේ පොහොසතෙකි. ඔහුට රාවණ පවුල ගැළපෙයි.

දෙපාර්ශ්වයේ කැමැත්තෙන් රාවණ – මන්දෝදරී විවාහය සිදුවිය. එදා මයදානව රාවණට දායාදයක් දුන්නේය. ඒ පෙර කී මහබලැති ත‍්‍රිශූලයයි. විවාහයකදී මනාලියගේ පාර්ශ්වයෙන් දායාද දීමක් ආරම්භ වන්නේ මෙතැනිනි. එසේ ගත් විට විවාහයේදී දායාද ලැබූ ලොව පළමු මනාලයා රාවණා රජුය.
රාවණ තමන්ට අවශ්‍ය තැනදී මේ ත‍්‍රිශූලය භාවිත කර තිබේ.
රාවණ රජු හා මන්දෝදරී රැජින දිගුකලක් සීගිරිය මාළිගයේ එකට වාසය කළහ. ඒ අවට බළකොටු තනවා හමුදාවන් යොදා, සියල්ල සම්පූර්ණව කාමභෝගී විවාහයක් ගෙවා ඇත. එසේ ගත් විට රාවණ රජු නිතර සිල්රැකි, දහමට ලැදි, මාර්ගඵල ලැබූවෙක් හැටියට ගන්නවාට වඩා ශක්ති සම්පන්න, ලෞකික ශක්තිය එකමිටට ගත් බලවතකු ලෙස දැකිය යුතුය. මේ අදහස් දෙක පටලවා නොගත යුතුය.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
ලංකාදීප