රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ටතම රාජ්‍යය බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍ය පාලනය ගෙන ගිය බව හෙළ ඉතිහාසයේ සඳහන්ය.

රාවණ කාලෙත් අංගම්පොර තිබුණා

රාවණ රජතුමා ආත්මාරක්ෂක සටනෙහි දක්ෂයෙකි. තමාට එරෙහිව එන  ඕනෑම සතුරකු අත් පා වලින් පහර දී දුර්වල කිරීමේ ශක්තිය එතුමාට තිබිණි. ඒ නිසා රාවණා සමග සටනට සතුරු සේනා පැමිණියේ කලාතුරකිනි. රාවණාට ආවේණික වූ සුවිශේෂ සටන් විලාසය සතුරන් පසුබස්සන්නක් විය. ඇතැම් විට මරණය පවා කැඳවන්නක් විය. ආයුධවලට වඩා රාවණ ප‍්‍රිය කළේ කාය ශක්තියෙන් කරන සටන්ය. අද ‘‘අංගම්පොර’’ නමින් ප‍්‍රකට සටන් කලාවෙහි ආරම්භකයා රාවණය. මේ පිළිබඳ පෙර ලිපියක සටහන් තැබුවා ඔබට මතක ඇති. අද එහිම දෙවැනි පියවරකි.

අංගම්පොර ලංකාවට ආවේණික වූ සුවිශේෂ සටන් ශාස්ත‍්‍රයකි. අවුරුදු 7,500කට එහා පුරාණ ශිල්ප ඔස්සේ පැවත එන්නකි. රාවණ රජුගෙන් ආරම්භ වී හෙළ රාජ පරම්පරා ආරක්ෂා කරගෙන පැමිණියකි. පසුකාලීන ලක්දිව බොහෝ රජවරු අංගම් ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ බවද පෙනේ. එසේම අංගම් ශිල්පීහු තම සටන් සේනාවල රඳවා ගත් බව ද පෙනේ. ඉතිහාසගත සටන්වලට අංගම් සටන් කරුවන්ගෙන් ලැබුණේ සුවිශේෂ දායකත්වයකි. තුවක්කු, බයිනෙත්තු සමග පැමිණි සතුරු සේනාවලට පවා දැවැන්ත පරාජ ගෙන දීමට ලංකාවේ පැරණි සටන් ශිල්පීන්ට හැකිවිය. අංගම් ශාස්ත‍්‍රය නිසි පරිදි ප‍්‍රගුණ කළෙකුට දරුණු හමුදාවකට පවා අභීතව මුහුණදීමෙහි ශක්තිය ලැබේ. එහෙත් රාවණ යුගයේ තිබුණු අංගම් ශාස්ත‍්‍රයේ බොහෝ වටිනා තැන් වත්මන් අංගම් ශාස්ත‍්‍රයෙන් ගිලිහී ගොස් තිබේ. කෙසේ වෙතත් පැරණි සටන් ශිල්පයක් හැටියට එය තරමක් හෝ ආරක්ෂා වීම ගැන අප සතුටු විය යුතුය.
රාවණ යුගයේ ‘‘අංගම්පුඩි’’ ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ යක්ෂ ගෝත‍්‍රිකයෝ විශාල පිරිසක් විසූහ. ඔවුන් පසු කලෙක ඉන්දියාවට ගොස් ‘‘අගම්පූඩියර්’’ ලෙස ප‍්‍රචලිත විණ. පළමුවැනි විජයබාහු රජ සමයේ හමුදා සේනාංකයක් ලෙස මේ ‘‘අගම්පූඩියර්’’ මිනිස්සු යළිත් ලංකාවට ගෙන්වා ගත්හ.
ඔවුන් බළපිටියේ පදිංචි වූ අතර පසුව ‘‘අගම්පුඩි’’ ලෙස වාසගම් වෙනසට පත්විය. අදත් ‘‘අගම්පුඩි’’ ජනතාව බළපිටිය කේන්ද්‍රකොට ලංකාවේ සිවුදෙස වෙසේ. මොවුහු පාරම්පරික සටන්කලාව රැුගෙන එන්නෝය. එබැවින් ඔවුන්ට උපතින්ම පාරම්පරික දේහ විලාසයක්, කාය ශක්තියක් හිමිව ඇතැයි ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර අදහස් දක්වති.
ලෝකයේ විවිධ රටවල විවිධ නම් වලින් හැඳින්වෙන අංගම් ශාස්ත‍්‍රයේ මූල ධර්මය ලෙස සැලකෙන ‘මුශඨි ප‍්‍රහාරි තන්ත‍්‍ර‘ නම් සංස්කෘත ග‍්‍රන්ථයේ කතුවරයා රාවණ රජතුමා යැයි පිළිගනී. එය එම ග‍්‍රන්ථයේ පෙරවදනේද සඳහන් වේ. මෙම පොතේ අංගම් ශාස්ත‍්‍රය ගැන විශේෂයෙන් ලියැවී තිබේ.
අවි ආයුධ රහිතව සටන් කිරීම අංගම් ශාස්ත‍්‍රයේ මූලික අභිප‍්‍රායයි. නමුත් අංගම් ශාස්ත‍්‍රය රජවරුන්ගේ අංගාරක්ෂකයන් අතට පත්වීමත් සමග කඩු සටනින් පොලූ සටන් ආදිය පසු කලෙක එක්වන්නට ඇතැයි මුශඨි ප‍්‍රහාර තන්ත‍්‍ර ග‍්‍රන්ථය අධ්‍යයනය කරන විට පෙනී යයි.
රාවණ රජතුමා සඳහන් කරන පරිදි අංගම් පොර ශිල්පියා අත කිසිඳු ලී කැබැල්ලක්, කඩු පිහි හෝ ලෝහ උපකරණ නොවිය යුතුය. රාවණා රජතුමා මුශඨි ග‍්‍රන්ථයේදී මිනිස් සිරුරේ මාරක නිල හතක් දක්වයි ඒවා හිස, දෙනෙත්. නාසය දකුණු කන, පුරුෂ ලිංගය, උදර ඇටය, යටිබඩ යන ප‍්‍රදේශ ආශ‍්‍රිතව පිහිටා තිබේ.
අංගම් ප‍්‍රහාරකයා තමන්ගේ මුළු ශරීර බර එක මොහොතක අතට හෝ පාදයට ලබාගෙන ප‍්‍රහාරය යොමු කරයි. එවිට සතුරාට වදින පහර බරින් වැඩිය.

පුරාණ රාක්ෂ හා යක්ෂ ගෝත‍්‍රික ජනතාව තමන්ගේ වර්ගයා සමග සටන් නොකිරීම එක් ප‍්‍රතිපත්තියකි. සිය ඥාතියකු සමග නිරාකරණය කළ නොහැකි වෛරයක් වේ නම් දෙදෙනා ඉතා රහසිගත ස්ථානයක් තෝරා ගෙන අමාවක දිනයක සිය විරුද්ධවාදියා සමග සටන් කළ යුතුය. එය රාවණ යුගයෙහි සිරිතයි. මෙම සටනේදී දරුණු මාරක ප‍්‍රහාර එල්ල වේ. සියල්ල අංගම් ශාස්ත‍්‍රානුකූලවය. එවිට එකෙකු මිය යයි. සමහර අවස්ථාවල  ප‍්‍රහාරයෙහි දරුණුකම මත දෙදෙනාම මියැදෙති.
රාවණ යුගයේ දී අංගම් ශිල්පියා මන්ත‍්‍ර පවා සටනට යොදා ගෙන ඇත. සමහර මන්ත‍්‍ර තමන්ගේ ආරක්ෂාව පිණිසය. නවත්වා සතුරා පහසුවෙන් බිමට හෙළා ගැනීම සඳහාය.
රාවණ රජු ලිවූ මුශඪි ප‍්‍රහාර පුස්කොළ පොතේ අංගම් ශාස්ත‍්‍රයේ ප‍්‍රබල අවස්ථා කීපයක් දක්වා ඇත.
සතුරාට වැළමිටෙන් පහරදීම සතුරාගේ පා පහර වළක්වා පාදය අල්ලා සොළවා බිම දැමීම ඒ අතරෙහි වේ.
සතුරාගේ පාද දෙකින් අල්ලා ඉදිරියට ඇඳීමෙන් බිම දමන ක‍්‍රමයක්ද එහි වේ. දෙපා ඇඳීමෙන් බිම වැටෙන සතුරාගේ උගුරු ඇටයට තද ප‍්‍රහාරයක් දීමෙන් සතුරා සම්පූර්ණයෙන් අඩපණ කිරීම ඉපැරණි අංගම් ශාස්ත‍්‍රයේ ප‍්‍රධාන අංගයකි.
හිසේ පිටුපසට වේගවත් ටොකු පහරක් දීම මගින් සතුරා දැඩි සේ කම්පනයට පත් කරවා සදාකාලික රෝගියකු කරනු ලැබේ. එය තීරණය වන්නේ මුෂ්ඨි ප‍්‍රහාරයේ බර ප‍්‍රමාණය අනුවය. බර අඩුකර හෝ වැඩිකර අවශ්‍ය පමණට ප‍්‍රහාරය පවත්වා ගැනීම අංගම් ශිල්පියාගේ කැමැත්ත මත තීරණය වේ. අංගම් ශාස්ත‍්‍රයේදී එක ප‍්‍රහාරයකින් මිනිසකු ඝාතනය කළ හැක්කේ වුවද නියම අංගම් ශිල්පියා කිසිවිටෙකත් එවැන්නකට යොමු නොවේ. මනුෂ්‍ය ඝාතනය අංගම් ශාස්ත‍්‍රයට සපුරා තහනම්ය.
රාවණ යුගයෙන් පසුව බොහෝ කළක් අංගම් ශාස්ත‍්‍රය වනගත යෝගීවරුන් ප‍්‍රගුණ කළහ. ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ පවා යෝගිවරු උසස් අන්දමින් මේ ශිල්පය රැුකගෙන ආහ. වනයේදී මුණ ගැසෙන සොර සතුරන්ගෙන් හා වගවලසුන්ගෙන් ආරක්ෂාවීමට පුරාණ අංගම් ඔවුහු උපයෝගී කොට ගත්හ.
අවි ආයුධ දරන කෙනෙක් කඩු ප‍්‍රහාරයක් එල්ල කළහොත් අත රැුඳි ලේන්සුවකින් හෝ වස්ත‍්‍රයකින් එම කඩුව අල්වා සතුරාගේ බඩට පා පහරක් එල්ල කොට සතුරා මර්දනය කරනු ලැබේ. පොලූ සටන් වලදී ද ඊට සමාන ක‍්‍රමයකට සතුරා මැඩ පවත්වනු ලැබේ. සෙලම්බරම් නම් පොලූ කරකැවීමේ ශාස්ත‍්‍රයට ද දක්ෂ අංගම් ශිල්පියාට මුහුණ දිය හැකිය.
රාවණ රජතුමා මුෂ්ඨි ග‍්‍රන්ථයේ සඳහන් කරන පරිදි අංගම් ක‍්‍රීඩාවේ යෙදීමට සුදුසුම වේලාව කුජ හෝරාවයි. සතුරා දුබල කිරීමට කුජ හෝරාවේදී විශේෂ ශක්තියක් ඇති නිසා එසේ විය යුතුය.
නැකැත් හෝරා බලමින් හදිසියේ සතුරා මර්දනය කළ නොහැකි බැවින් මනස ඉතා පැහැදිලිව හා ශරීර ශික්ෂණය මැනවින් පවත්වා ගැනීමෙන් පහසුවෙන් සතුරා දමනය කළ හැකිය.
රාවණ රජතුමා අධ්‍යත්මික ශක්තියෙන් සන්නද්ධ වූ යොගීවරයෙකි. එම ශක්තීන් අනුව මානසික හා ශාරීරික සංයමය තබා ගෙන අංගම් ශාස්ත‍්‍රය සිදු කරන්නට ඇත.
රාවණ යුගයෙන් පසු දේශීය අංගම් ශාස්ත‍්‍රය ඉන්දියාවට ගියේය. විශේෂයෙන් සිංහලේ නායක්කර් රජ සමය වන විට අංගම් ශාස්ත‍්‍රය දකුණු ඉන්දියාවේ ගුස්ති ක‍්‍රම හා මිශ‍්‍ර වීමෙන් අපවිත‍්‍ර විය.
අද ලංකාවේද ඉතිරිව ඇත්තේ මෙසේ විවිධ සටන් වූ ලක්ෂණ වලින් අපවිත‍්‍ර වූ අංගම් ශාස්ත‍්‍රයකි. සුපිරිසිදු අංගම් ශාස්ත‍්‍රය තිබුණානම් ආයුධ සටන් වලට වඩා පහසුවෙන් සතුරා මෙල්ල කිරීමේ හැකියාව තිබිණි.
කෙසේ වෙතත් රාවණ යුගය හා සැසඳීමේ දී දේශීයව අපට උරුම වූ බොහෝ දෑ අතර අංගම් සටන් කලාව එකකි. ලෝකයේ  ඕනෑම රටක් සමග කරටකර යෑමේදී අපේ ආවේණික ලක්ෂණයක් ලෙස‘‘අංගම්පොර’’ බය නැතුව පෙරට ගෙන යා හැකිය.
එය අපේ දේශීය කලාවක විශිෂ්ටත්වය කියාපාන්නකි. ලාංකීය ඉතිහාසයේ මහරජු වන ‘‘රාවණ’’ අපට කියාදුන් ශිල්පයකි.
2014 නොවැම්බර් මස 10 | ලංකාදීප කර්තෘ මණ්ඩලය